නුවර වැව හෙක්ටයාර 18 ක පමණ භූමි ප්‍රදේශයක පැතිර පවතී. ලක්දිව පැරණි වැව් බොහෝමයක් රජවරුන් විසින් යොදා ගත්තේ කෘෂිකාර්මික අරමුණු සඳහා වුවද නුවර වැව එවැනි කටයුත්තක් සඳහා යොදා නොගනී. රාජකීයන්ගේ කටයුතු හා පානීය ජලය සපයා ගැනීමට අතීතයේ මේ වැවෙන් ජලය සපයා ගෙන තිබුණි.
උතුරින් උඩවත්ත කැළය හා දළදා මාළිගාවෙන් ද, දකුණින් රොස්නිත් හිල් හා හන්තාන කදු වැටියෙන්ද වටවී ඇති මෙම වැව නුවර නගරයේ අලංකාරය වැඩි කරයි.
නුවර වැවේ නිර්මාණ ශිල්පිය ලෙසින් ප්‍රකටව ඇත්තේ දේවේන්ද්‍ර මූලාචාරියාය. දළදා මාළිගාවේ මඟුල් මඩුවේ නිර්මාණ ශිල්පියා ද ඔහුමය. නමුත් මඟුල් මඩුව සෑදීමේදී උඩරට ප්‍රධානීන් සැපයූ දැව කඳන් උවමනාවෙන්ම කෙටි කර ඒවා අවශ්‍ය තරම් දිගින් යුක්ත නොවන බව පැමිණිලි කිරීම නිසා ඔහු පසුව රාජ උදහසට ලක්විය. අවසානයේ ඔහු තමන් විසින්ම කළ නුවර වැට පැන දිවි නසා ගෙන තිබේ.
ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍ය සමයේදී නුවර වැවේ මැද ඇති දූපත හරහා රජුට පහසුවෙන් මල්වතු විහාරයට යාමට මාර්ගයක් තනා තිබුණි. දේවේන්ද්‍ර මූලාචාරියා විසින් එය සාදන ලදී. ඒ 1805 දීය. මේ බැම්ම සෑදීම නිසා ඇතිවූ කුඩා ජලාශය කිරි මුහුද නම් විය. කිරි මුහුද යන නාමය මෙම වැවට යෙදීමට හේතුවූ කරුණු සම්බන්ධව ඇති තවත් මතයක් නම් වැවේ නැගෙනහිර පැත්තේ සෑදු කුඩා පොකුණක වාසය කළ කිරි ඉබ්බෙකු නිසා මේ නම ලැබුණු බවයි.
අද වැව වටා ඇති බැම්ම සැදූවේ 1810 - 1812 කාලයේය. මේ නව බැම්ම සෑදීමෙන් පසුව දූපතේ මැද්දෙන් වැටී තිබූ බම්ම ඉවත් කර ඇත. එහිදී මැද්දේ කොටස පමණක් ඉතිරි කර තිබේ.
අද තිබෙන නුවර වැවට පහළින් තවත් වැවක් අතීතයේ තිබුණි. ඒ බෝගම්බර වැවයි. වර්තමාන දුම්රිය පොළ තිබෙන ප්‍රදේශයේ එහි වේල්ල තිබී ඇත. බෝගම්බර වැවේ බැම්ම 1846 දී පුපුරා ගිය අතර 1865 නුවරට දුම්රිය පැමිණීමත් සමඟ මෙම වැවේ කතාව නිමාවට පත් විය.
|