සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජු දවස ශ්‍රී මහා බෝධින් වහන්සේ මෙරටට වැඩමවන ලදී.

බෝධිය වැඩමවීම හා රෝපණය පිළිබඳව මහාවං‍සයේ විස්තර දක්වා ඇත. (18 හා 19 පරිච්ඡේද)

බෝධිය පිහිටුවා ඇත්තේ පොළෝ මට්ටමේ සිට අඩි 21 ක් පමණ ඉහළ පිහිටි වේදිකාවකය. එය මාලක 4කින් සමන්විතය. බෝධිය රෝපනය කර ඇති ඉහළම මාලකය බෝධි මළුව ලෙස හදුන්වයි. එයට පහළින් ඇති මළුව ප්‍රදක්ෂිණා මළුව ලෙසින් හදුන්වයි. මෙම මාලක 2කට සාමාන්‍ය ජනතාවට ඇතුල් වීමට නොහැකි අතර ඒවා රන් වැටකින් ආවරණය වී ඇත. සෙසු මාලක වන්නේ දේවාල මළුව හා පහළින්ම ඇති වැලි මළුවයි.

2006 වසරේදී දේවාල මළුවේ පළල තවදුරටත් වැඩි කිරීමට කටයුතු කරන ලදී. එහිදී පැරණි ස්වරූපයට අවම හානි වන ආකාරයෙන් එය කිරීමට බලධාරීන් ක්‍රියා කර ඇත.

1908 දී හැමූ තද සුළඟක් හේතුවෙන් මෙම බෝධි වෘත්ෂයේ බටහිර පැත්තේ කොටසක් කඩා වැටී ඇත. එමෙන්ම බෝධිය 1929 දී උමතු පුද්ගලයෙකුගේ අවි පහරට ලක් වී ඇත.