මහා පරාක්‍රමබාහු රජතුමා විසින් (ක්‍රි.ව 1153 - 1185) සෑදූ මහල් හතකින් යුතු මාළිගාව මෙයයි. විජයොත්පහය හෙවත් වෛජයන්ත ප්‍රාසාධය ලෙසත් මෙය හදුන්වා ඇත. පොළොන්නරු නගරයේ ඇතුල් නුවර ලෙස හදුන්වන කලාපයේ මෙම ස්මාරකය දැකිය හැකිය.

මහල් හතක් යැයි සඳහන් මෙහි මහල් තුනක හා ඉහළ මාලයන්ට යාමට ඇති සියගැට පෙළවල්හී සලකුණු තවමත් දැකිය හැකිය. බිත්ති අතර ඇති සිදුරු දැව බාල්ක යොදා තිබූ ඒවා විය යුතුය. එම සිදුරු අනුව පෙනී යන්නේ මෙම මාළිගාවේ ඉහළ මලයන්ගේ පියස්ස හා පොළොව දැවයෙන් කරවන්නට ඇති බවයි. මහාවංසයේ 73 වන පරිච්ඡේදයේ පැරකුම් රජුගේ මාළිගාව පිළිබඳ වර්ණනාවක් දක්වා තිබේ.

ප්‍රධාන ගොඩනැගිල්ලට අමතරව එයට සම්බන්ධව අවට තවත් ගොඩනැගිලි කිහිපයක් විසිර පවතී. එම ගොඩනැගිලි ද රජුගේ නොයෙකුත් අවශ්‍යතාවයන් සඳහා භාවිත කරන්නට ඇත.

සතුරු ආක්‍රමණවලදී කළ ගිනි තැබීමකින් මෙම ගොඩනැගිල්ල විනාශවී යන්නට ඇතැයි සැලකිය හැකි සලකුණු අදටත් මෙම නටබුන් අතර ශේෂවී තිබේ. ඊට අමතරව පැරණි නිර්මාණයට අයත් බදාම කොටස්, වර්ණ ආදියත් අතරින් පතර දැකිය හැකිය. මෑත යුගයේදී පුරාවිදු බළධාරීන් විසින් එවැනි ස්ථාන අවුවෙන්, වැස්සෙන් ආරක්ෂා වන සේ සංරක්ෂණය කර තිබේ.