කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නිහත්පත්තුවේ ගලිගමු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම 62 බුල්නෑවට අයත්ව නිල්ලක්ගම ප්‍රදේශය පිහිටා ඇත. මෙම බෝධිඝරය අසලම නිල්ලක්ගම වැව පිහිටා ඇත.

මේ ස්ථානයේ බෝධිඝරය පිහිටුවීම ගැන ජන කතාවක් ඇත. එයට අනුව අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ අංකුරයක් දකුණු පළාතට වැඩමකරවීමේදී රාත්‍රී වූ බැවින් මෙම ස්ථානයේ තැම්පත් කර ඇත. පසුදින බැලීමේදී එම අංකුරය තිබූ තැනම මුල් ඇද තිබූ නිසා මෙහි බෝධිඝරයක් නිර්මාණය කර තිබේ. ඒ අනුව අනුව අනුරාධපුර මුල් යුගයේ සිටම මේ ප්‍රදේශයේ ජනාවාස තිබූ බව සිතිය හැකිය.

මෙරට ඇති බෝධිඝර අතරින් ඉතාම කලාත්මක බෝධිඝරයක් ලෙසින් මෙය පෙන්වාදිය හැකිය. මේ බෝධිඝරය ආසන්නයේම දිවුල්ගනය රජමහා විහාරය ද පිහිටා තිබේ. නිල්ලක්ගම බෝධිඝරයේ නටබුන් ඒ ප්‍රදේශවාසීන් මුල් කාලයේ හදුන්වා ඇත්තේ පත්තිරිප්පුව, දළදා මාළිගාව ආදී විශේෂ නම් වලිනි.

1895 දී එච්. සී. පී බෙල් විසින් මෙම ස්ථානයේ නටබුන් පරික්ෂා කර බැලුවේය. එයින් පසුව සෙනරත් පරනවිතාන මහතා 1954 දී මේ ස්ථානයට ගොස් පරීක්ෂාකර බලා එදවස එහි ස්වරූපය ගැන අදහස් දක්වා තිබේ.

බේල් මහතාගේ නිරීක්ෂණයෙන් සුළු කාලයකට පසුව නිධන් හොරුන් විසින් එහි උඩ මළුව සම්පූරණයෙන්ම කැබලි වලට කඩා ගොඩනැගිල්ලේ හරි මැදින් අඩි 10 ක් පමණ ගැඹුරු වලක් ද හාරා තිබුණි. මළුවේ පනා බැම්මට අල්ලා තිබූ සමහර කැටයම් පුවරු පහළ මළුවේ වේදිකාවට ඇද දමා තිබුණේය. අසල වැවී තිබූ මහා කෝන් ගහක අත්තක් කඩා වැටීම නිසා මේ ගොඩනැගිල්ලේ නැගෙනහිර දොරටුවේ පිහිටි කැටයමින් අලංකාර කළ උළුවස්සක් සුනු විසුණු වී තිබුණි. තවද යාබදව තිබූ හේනක් කෙටීම සඳහා කැලය කපා ගිනි තැබීම හේතුවෙන් පහළ මළුවේ ඇති පවුරටද හානි සිදුව ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් මෙම බෝධිඝරය 8 වන හෝ 9 වන සියවසට අයත් යැයි විස්වාස කෙරේ. බෝධිඝරයේ ගලක දකින්නට ඇති සන්නසක අක්ෂර අනුව මෙම කාල නීර්ණය සිදුකර ඇත.

මෙම බෝධිඝරය තට්ටු දෙකකින් සමන්විත වේ. පහළ මළුව අඩි 43 ක් පමණ වේ.මළුවට ඇතුල්වන ස්ථානයේ අඩි 7ක් පමණ උස අඩි 5ක් පමණ පුළුල් කැටයම් උළුවස්සකි.

උඩ මළුව පිහිටා ඇත්තේ බෝධිඝරයේ හරි මැදය. එහි එක් පැත්තක් අඩි 13 කි. ඒ වටා සිව් දිසාවට සිටින සේ පිහිටුවන ලද ශෛලමය පුජාසන 4කි. ගල් ඇතිරූ මළුවේ ගලින් කළ කණු දැකිය හැකිය. මේ කණු මත අතීතයේ ලීයෙන් කළ වහලයක් තිබී ඇත. සුන්බුන් අතර මැටි උළු කැබලි තුළින් එය වඩාත් තහවුරු වේ.