සෑම අතින්ම වටවූ ප්‍රකාරයකින් හා ආරක්ෂිත දොරටු වලින් ඇතුල් නුවර සමන්විතය. මෙම කලාපයේ දැනට ඇති නටබුන් පරාක්‍රමබාහු රාජ කාලයට අයත්ය. නමුත් මෙම කලාපය රජවරුන් කිහිපදෙනෙකුම විසින් සිය පාලන මධ්‍යස්ථානය වශයෙන් භාවිත කරන්නට ඇත.
ඇතුල් නුවර සම්පූර්ණ ප්‍රදේශයම කැණිම් කර පාදාගෙන නොමැත. දැනට එම ප්‍රදේශයේ ඇති වැදගතම ගොඩනැගිලි වන්නේ පරාක්‍රමබාහු රජුගේ මාළිගාව, රාජසභාව හා කුමාර පොකුණයි.
මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන ප්‍රධාන ප්‍රවේශ දොරටුවෙන් ඇතුල්වනවාත් සමඟම දකුණු පැත්තට වෙන්නට මෙම ඇතුල් නුවර ප්‍රකාර හා දොරටුව දැකිය හැකිය. එම ප්‍රකාරය පිට නුවර ප්‍රකාරයන්ට වඩා වැඩි පළලකින් යුක්තව සාදා ඇත.
එම දොරටුව දෙපසින් තවමත් පැරණි අට්ටාලයන්ගේ සාධක දැකිය හැකිය.
දොරටුව ඉදිරියෙන්ම ශිලා ලිපියක් දැකිය හැකිය. එය නිශ්ශංකමල්ල රජතුමා විසින් පිහිටවූවකි. එහි ඇත්තේ එතුමා පිළිබඳ වර්ණනාවකි. අවසාන ඡායාරූපයෙන් එම ලිපිය දැක්වේ. |