මෙම ගොඩනැගිල්ල මහා විහාර භික්ෂූන්වහන්සෙලාගේ දාන ශාලාවයි. චතුශ්ශාලාව යනු මෙයට භාවිත වන තවත් නාමයකි. මහාවංශයේ 15 වන පරිච්ඡේදයේ දැක්වෙන දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවූ "බත්හල" මෙය බව සැලකේ. එනම් ක්‍රි : පූ 3 වන සියවසේදීය. මහාවංසයේ එම පරිච්ඡ්දයේම දැක්වෙන ආකාරයට මිහිඳු හිමියන්ට මහමෙවුනා උයන පිදීමෙන් පසුව උන්වහන්සේ විසින් මතු අනාගතයේ දාන ශාලාව පිහිටුවන ස්ථානය සලකුණු කර තිබේ. එම සලකුණ අනුව යමින් රජු මෙය ඉදිකරන්නට ඇතැයි විස්වාස කළ හැකිය.
ශ්‍රී මහා බෝධියේ සිට රුවන්වැලි මහා සෑය දෙසට යද්දී පාරෙන් දකුණු පසට වෙන්නට, ස්ථූපයේ ගිනිකොණ දෙසින් මෙම ගොඩනැගිල්ලේ නටබුන් වර්තමානයේ දැකිය හැකිය.
චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලක් වන මෙහි උතුරු පැත්තෙ සිට දකුණට අඩි 110 ක් ද, බටහිර පැත්තෙ සිට දකුණට අඩි 130 ක් ද දැකගත හැකිය. ප්‍රධාන ගොඩනැගිල්ලට ඇතුල්වීම සඳහා ඇත්තේ එක් දොරටුවකි. එහි ඇතුලත, මධ්‍යයට වෙන්නට දිග අඩි 60 ක් හා පළල අඩි 80 ක් පමණ වන අංගනයකි. එම අංගනය තරමක් පහතින් පිහිටීම නිසා එයට පිවිසීම සඳහා සිව් දිසාවෙන් පියගැට පෙළ හතරක් කරවා ඇත. එමෙන්ම මෙහි නැගෙනහිර පැත්තට වෙන්නට දිගින් අඩි 44 ක් හා පළලින් අඩි 3 ක් පමණ වන ගල් ඔරුවකි. නූතන පර්යේෂණ අනුව හෙළිවී ඇත්තේ මෙම ඔරුවේ ධාරිතාව භික්ෂූණ්වහන්සේලා 3000 කට පමණ දානය සැපයීමට ප්‍රමාණවත් බවයි.
මෙහි ඉතිරි වී ඇති ගල් කණු අවශේෂයන් රැසකි. ඒවායේ පිහිටීම අනුව අපිට නිගමනය කළ හැක්කේ මෙම ගොඩනැගිල්ල විවෘත මැද මිදුලකින් සමන්විතව නිර්මාණය කරණ්නට ඇති බවයි.
චතුශ්ශාලාව දැක්වෙන ඡායාරූප වල පිටුපසින් ඇති ගොඩනැගිල්ල බ්‍රිතාන්‍යය යටත්විජිත යුගයේ ඉඳි වූවක් වන අතර එය හරිස්චන්ද්‍ර ගොඩනැගිල්ල ලෙසින් ප්‍රකට වී තිබේ. මෙය යටත්විජිත යුගයෙදී බ්‍රිතාන්‍යන්ගේ රා තැබෑරුම ලෙසත්, පසුව තැපැල් කාර්යාලය ලෙසත් භාවිත කර ඇත. (අනුරාධපුරයේ ස්මාරක අතරට එකතු වූ මෙවැනි බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේ ඉඳිකිරීම් ගැන ඡායාරූප ආලකමන්දාවට ඇතුලත් කිරීමට අදහස් කරමු.)
1901 වසරේදී පුරාවිදු කොමසාරිස් එච්. සී. පී. බෙල් මහතා විසින් සිදුකළ කැණීමකින් මෙම ස්මාරකය සොයාගෙන ඇත. ඔහු එය මහාපාලී දාන ශාලාව ලෙසින් හඳුන්වා තිබේ. පසුව ඇතුල් නුවරින් හමු වූ ශිලා ලිපියක් හේතුවෙන් මෙම ස්මාරකය මහා විහාර දාන ශාලාව බවට තහවුරු විය. |