බෝපත් ඇල්ල පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රදේශයේය. මුලින් වැඩිදෙනෙකුගෙ අවධානයට ලක් නොවුනත් වර්තමනය වෙනවිට මෙම ස්ථානය විශාල සංචාරක පිරිසක් පැමිනෙන තැනක් බවට පත්ව තිබේ.

රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගයේ පැමිණෙන විට කුරුවිට නගරය අසන්නයේ ඇති ප්‍රවේශ මාර්ග දෙකක් ඔස්සේ මෙම දිය ඇල්ල වෙතට පිවිසිය හැකිය. මේ මාර්ග අතරින් එක් මාර්ගයක් හිග්ගස්/හේන හන්දියෙනුත්, අනිත් මාර්ගය කුරුවිට පොලීසිය අසලිනුත් වැටී තිබේ. ඇල්ල වෙතට යාමට මේ කුමන මාර්ග භාවිත කළද ඇත්තේ එක් හා සමාන දුරකි.

මෑත කාලීනව කුරුවිට ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීම මත දිය ඇල්ල ආශ්‍රිතව සංවර්ධන යෝජනාක්‍රම කිහිපයක්ම දියත් කර තිබේ. ඒ අනුව රථ ගාලක්, නැරඹුම් ප්‍රදේශයක් හා වැසිකිලි සංකීර්ණයක් ඉදි කර ඇත. එමෙන්ම ඇතුල් වීම සඳහා රුපියල් 5 ක මුදලක් ද අය කරනු ලැබේ. මීට අමතරව පෞද්ගලික ආයතන විසින් ආරම්භ කළ තානායම් කිහිපයක් ද ඇත.

කුරුවිට නගරය හරහා ගලා බසින කුරු ගඟ, එම නගරය පසු කිරීමට පෙර එක්තරා අවස්ථාවක පර්වථයක පටු විවරයක් හරහා ගලා යාමේදී මෙම සුන්දර දිය ඇල්ල නිර්මාණය වේ. හොඳින් ජලය ඇති කාලයේදී එම දිය දහර බෝ කොලයක ආකාරයෙන් කඩා හැලීම හේතුවෙන් මෙම දිය ඇල්ලට "බෝපත් ඇල්ල" යන නම ලැබී ඇත.

සති අන්තයේ හා නිවාඩු දිනයන් වලදී විශාල සෙනගක් මෙම ස්ථානයට පැමිණෙති. මෙසේ එන විශාල ජනතාවත්, ඔවුන් පරිසරයට බැහැර කරන පොලිතීන්, බෝතල් කටු හා නොයෙකුත් ආහාරයන් හේතුවෙන් අවට පරිසරයේ සෞන්දර්යාත්මක බවට දැඩි ලෙස හානි සිදුවේ. ඊට අමතරව ඇල්ල ආසන්නය දක්වාම් වනය එළි පෙහෙළි කර තේ, රබර් වැනි වගාවන් සිදුකර තිබීම තවත් තර්ජනයකි.

මතුපිටින් පවතින සුන්දර බවට අමතරව බියකරු, අනතුරු සහිත ස්වභාවයක් ද මෙම ඇල්ල ආශ්‍රිතව පවතී. අපරික්ෂාකාරීව ඇල්ලේ බෑවුම දිගේ ඉහළට නැගීමට ගොස් හා වෙනත් හේතූන් නිසා මේ වන විට 50 කට වැඩි පිරිසක් මෙහිදී මරණයට පත්වී ඇත. හදිසියේ සිදුවිය හැකි ජලය වැඩිවීම් තවත් අවධානමකි. ඇල්ලේ ආරම්භක ප්‍රදේශයන්ට ලැබෙන මහ වැසි නිසා මෙවැනි තත්ත්වයක් උද්ගතවේ.

ඇල්ලේ මුදුනට නැගීම අනතුරුදායක, අසීරු කටයුත්තක් වුවද එම ස්ථානයට ගිය විට ඇල්ල ආරම්භ වීමට මඳක් එහාට වෙන්නට තවත් කුඩා ප්‍රමාණයේ දිය ඇල්ලක් දැකිය හැකිය.